ඉගැන්වීමේ ක‍්‍රම සහ ක‍්‍රමශිල්ප / උපාය මාර්ග

 ඉගැන්වීමේ ක‍්‍රම සහ ක‍්‍රමශිල්ප / උපාය මාර්ග
Teaching Methods & Teaching Techniques


අප සාකච්ඡා කිරීමට සූදානම් වන මෙම විෂය පථය ඉතාම සංකීර්ණ හා පුළුල්වූ කරුණු රාශියකින් සමන්විත වූවක්. මෙහිදී අපට ඇසෙන හුරුපුරුදු වචන රාශියක් තිබෙනවා. ඒ තමයි Methodology, Approaches, Methods, Techniques & Strategies යන ඉංග‍්‍රීසි වදන්පෙළ, මෙහි තිබෙන විශේෂත්වය තමයි මෙම ඉංග‍්‍රීසි වචනවලට සිංහල අර්ථය සෘජුවම ලබාදීමට අපහසුවීම. එනිසා මේ පිළිබඳව සාකච්ඡාවේ ආරම්භය මෙලෙස සිදුකරන්නම්.


අධ්‍යාපනය යනු පෙර පරම්පරාව සතු සංස්කෘතික වටිනාකම් ඊළග පරම්පරාවලට පවරාදීම ලෙස සරලව අර්ථ ගැන්විය හැකියි. මිනිස් ශිෂ්්ඨාචාරයේ ආරම්භයේ සිටම මිනිසා විසින් ගොඩනගාගෙන ඇති අති විශාල දැනුම් සම්භාරයන්, කුසලතා හා සදාචාරාත්මක වටිනාකම් සහ අගයන් බොහෝමයි. කලා ශිල්ප, තාක්ෂණ උපකරණ හා ක‍්‍රමවේද, සිරිත් විරිත්, ගති පැවතුම් හා විස්තර කළ නොහැකි තරම් වූ මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලූම දෙය ද අන්තර්ගත සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට පැවරීමක් තමයි ඈත අතීතයේ සිටම සිදුවෙලා තිබෙන්නේ. 


ඒ වගේම එය සෑම පරම්පරාවකදීම එයට සමාන්තර පරම්පරා වල සංස්කෘතින්වල ඇති ගති ලක්ෂණ උකහා ගනිමින් පෝෂණය වී තිබීමද විශේෂත්වයකි. පූර්ව පරම්පරා විසින් හා සමාන්තර පරම්පරා විසින් ගොඩනැගූ සංස්කෘතිය නව පරම්පරාවට පවරා දීම ලෙස අර්ථ ගැන්වෙන අධ්‍යාපනය එය සිදුවන ආකාරය අනුව වර්ගීකරණය කළ හැකිය. අවිධිමත්, විධිමත්, නොවිධිමත් ලෙස වර්ග තුනකට වෙන් කරනු ලබන මෙම අධ්‍යාපන ක‍්‍රියාවලින් අතුරින් විධිමත් අධ්‍යාපනයේදී වගකිවයුතු වෘත්තිකයා වන්නේ ගුරුවරයායි.


ඕනෑම රටක අධ්‍යාපන ක‍්‍රියාවලිය සැලසුම් කරන්නේ තම රටේ දරුවන් සඳහා උගන්වන්නේ ඇයි? උගන්වන්නේ මොනවාද? යන ප‍්‍රධාන සාධක පිළිබඳ අවධානය යොමුකර ඇති බව පෙනේ. තම රටෙහි භූගෝලීය හා ආර්ථික වටිනාකම අනුව සෑමවිටම අධ්‍යාපන අරමුණු තීරණය කෙරුණු නමුත් කඩිනමින් එය සිසුන් වෙත ලබාදීමට සුදුසු වන මට්ටමේ විධිමත් විෂයමාලා ගොඩනැගීමට මොවුන් අපොහොසත් වී ඇති බවක් පෙනෙනවා. එසේ වුවත් සිසුන් හට දැනුම පවරා දීමටත් ඔවුන්ගේ විභාග ආදිය සඳහා යෝජිත විෂානුබද්ධ වූ මාතෘකා ගොනුවක් විෂය නිර්දේශ ලෙස ඉදිරිපත් කර තිබෙනවා. නමුත් හදුන්වා දෙන ලද විෂය නිර්දේශයන් ඉගැන්වීම් සඳහා නිශ්චිත වූ සැලැස්මක් ඉදිරිපත් නොකල නිසා එය කුමන ආකාරයෙන් ඉගැන්විය යුතුද යන්න පිළිබඳ විශේෂ අවධානයක් කා තුලත් තිබී නැතිි බවයි පෙනෙන්නේ. 


ලංකාවේ පන්සල හා පිරිවෙන් ආශ‍්‍රිතව පැවත ගෙන ආ මෙම අධ්‍යාපන ක‍්‍රමය පරම්පරාගතව හා සම්ප‍්‍රදායික ආකාරයට සිදුවූ නිසා එහි කාර්යක්ෂමතාව දුර්වල මට්ටමක පැවති බවයි පෙනීයන්නේ. පසුකාලීන අභියෝගයක් වූ මෙම දුර්වල අධ්‍යාපන ක‍්‍රියාවලිය යාවත්කාලීන කිරීමට ‘‘ඉගෙනුම් ක‍්‍රම විද්‍යාව’’ Educational Methodology නමින් නව සොයා බැලීම් සිදුකිරීම ආරම්භ විය. සියවසකට ඈත ඉතිහාසයේ මේ පිළිබදවද විමිසීම් සිදුකල අධ්‍යාපනඥයෝ අධ්‍යාපන දර්ශනය, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, තාක්ෂණය ආදී විවිධ විෂය ක්ෂේත‍්‍ර හා බැදුණු නව දැනුම සංකල්ප හා ක‍්‍රමවේද පදනම් කරගනිමින් පුළුල් විෂය පටිපාටියක් ලෙස අර්ථ ගැන්වෙන ‘‘ අධ්‍යාපන ක‍්‍රමවිද්‍යාව’’  හඳුන්වාදීම සිදුවී තිබෙනවා.


දැන් අපේ වචන ලැයිස්තුවේ එක් වචනයකට පිළිතුරු ලැබිලා තිබෙනවි. ගුරුවරයාගේ ප‍්‍රධාන කාර්ය ඉගැන්වීමයි. ශිෂ්‍යයාගේ යහපත් වූ චර්යාමය වෙනස්කම් අපේක්ෂාවෙන් සාර්ථක ඉගැන්වීම් ඉගෙනුම් අවස්ථා නිර්මාණය හා ක‍්‍රියාත්මක කිරීම ගුරු කාර්යභාරයට අයත් වේ. ඒ සඳහා ‘‘සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථාවක්’’ යනු කුමක්දැයි ගැඹුරින් වටහා ගෙන සිටිය යුතු වේ. මේ සදහා සෘජු ලෙස බලපෑම් කරන සාධකය වන්නේ ශිෂ්‍යාගේ ස්වභාවයයි. ගුරුවරයාගේ පෞරුෂය, දක්ෂතා, කැපවීම විෂය අවබෝධය කොතරම් ප‍්‍රබල වුවත් සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථාවක් නිර්මාණය කරගැනීම සඳහා ශිෂ්‍යයාගේ ස්වභාවය මනාව  වටහාගෙන සිටිය යුතුවේ. 


ශිෂ්‍යයන්ගේ විවිධත්වය වටහා නොගෙනමින් සැමදෙනාම සමාන යයි සලකා  එකම ආකාරයෙන් ඉගැන්වීමට උත්සාහ දැරීම කාලය අපතේ යැවීමකි. ශිෂ්‍යයෝ පෞරුෂ වශයෙන් විවිධ වන අතරම ඔවුන්ට විවිධ විභව්‍යතාවයන් , රුචි අරුචිකම් හා අපේක්ෂා ඇත. ඔවුන් කාර්යවල නියුක්ත වන්නේ වෙනස් ආකාරයෙනි. එමනිසා ශිෂ්‍යයෝ පන්ති කාමරයේ හැසිරෙන්නේ ද වෙනස් වූ ආකාරයටයි. සෑම ශිෂ්‍යයෙක්ම එකම ආකාරයකට ඉගෙනීම සිදුනොකරන අතර ඒ සඳහා වෙනස්වූ ආකාරයන්  (Learning Styles) පවතී. මේ සියලූ විවිධත්වයන්ගෙන් යුක්ත ශිෂ්‍යයන් සමූහයක් එක්තැන් කොට ඒකරාශී කොට දැනුම පවරාදීමට උත්සාහ දැරීම ගුරුවරයාගේ කාර්යභාරය වන නිසා ඒ සඳහා අවශ්‍ය හැකියා සෑම ගුරුවරයෙකු විසින් උපයාගත යුතුයි.


මේ අනුව සෑම ගුරුවරයෙක්ම අධ්‍යාපන දර්ශනය, මනෝවිද්‍යාව, අධ්‍යාපන සමාජ විද්‍යාව හා තාක්ෂණය යන විෂය පථයන්ගෙන් පරිපූර්ණ වූ ‘‘ ඉගෙනුම් ක‍්‍රමවිද්‍යාව’’ පිළිබඳ මනා වැටහීමක් හා අවබෝධයක් ලබාගත යුතු වේ. සීමිත කාලරාමුවකට හා පන්තිකාමර පරිසරයකට යටත් වූ ගුරු-සිසු මානව සබඳතා කි‍්‍රියාත්මක කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව ඔබට වැටහිය යුතුයි. 


මිනිස් චර්යාවල පවතින සංකීර්ණත්වය පිළිබඳ මනෝවිද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයකින් බලනවිට ‘‘විවිධත්යෙන් අනූන වූ පන්ති කාමරය සාර්ථක කරගනීම දක්ෂ ගුරුවරයෙකුට පැවරුණු දැවැන්ත කාර්යකි. යාන්ත‍්‍රික ක‍්‍රියාවලියක් නොවන ඉගැන්වීම සියුම් වූත් අභියෝගාත්මක වූත් කාර්යයක් බව එහි නිරතවන කාහට වුවත් අවබෝධ කරගත හැකි සාධකයකි. ඒ සඳහා ඉගෙනුම් ක‍්‍රම විද්‍යාව නමින් අර්ථ ගැන්වූ මහා විෂය පථයෙන් ඉගැන්වීම පිළිබඳ විවිධ අන්ත අතර පවතින ප‍්‍රවේශ ‘‘ඉගෙනුම් ප‍්‍රවේශ’’ Teaching Approaches  හදුන්වා දී ඇත. එය පහත ආකාරයට වර්ග කොට දක්විය හැක.

x ගුරු ආධිපත්‍ය ඉගැන්වීම් සහ ශිෂ්‍ය ආධිපත්‍ය ඉගෙනුම්

x උපදේශාත්මක ඉගැන්වීම් සහ අනාවරන ඉගෙනුම්

x කරණුමය ඉගැන්වීම් හා සංකල්පමය ඉගෙනුම්

x න්‍යායික ඉගෙනුම් හා ප‍්‍රායෝගික ඉගෙනුම්

x වනපොත්කරණය හා අර්ථාන්විත ඉගෙනුම්

x නිගාමී ඉගැන්වීම් හා උද්ගාමී ඉගෙනුම්

දැන් ඔබට   Teaching Approaches   යන වචනයේ අර්ථය පිළිබඳ දළ අදහසක් හෝ ලැබෙන්නට ඇති.


මෙම ඉගෙනුම් ප‍්‍රවේශ ප‍්‍රධාන වශයෙන්ම ගුරු කේන්ද්‍රීය ප‍්‍රවේශය සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ප‍්‍රවේශය වශයෙන් බෙදා වෙන්කොට දැක්විය හැකිය. ගුරු කේන්ද්‍රීය ප‍්‍රවේශයේදී ගුරුවරයාගේ ආධිපත්‍ය ප‍්‍රබල වේ. ශිෂ්‍යයා හිස් බිදුනක් ලෙසට සලකමින් ගුරුවරයා දැනුම හා තොරතුරු බෙදා ගැනීම සිදු කරයි. දේශන ක‍්‍රම සහ සෘජු වාචික උපදේශන ලබාදීම මෙහිදී බහුල ලෙස සිදුකෙරේ. ඉගෙනුම අවසානයේ සිදුකෙරෙන ඇගයීම සහ තක්සේරුකරනය ගුරුවරයාගේ අභිමතය අනුව සිදුකෙරේ.


ශිෂ්‍ය කේන්ද්‍රීය ප‍්‍රවේශයේදී ශිෂ්‍යයාගේ නිදහස මෙන්ම ස්වයං පාලනයක් ද ඇත. මෙහි දී ගුරුවරයා සම්පත්දායකයෙකු, උපාධ්‍යවරයෙකු  (Facilitator)  ලෙස සිය භූමිකාවෙහි හැසිරේ. මෙහිදී ශිෂ්‍යයාට හිමිවන නිදහස නියත උගත යුතු දෙය තීරණ කිරීමේ අයිතිය, අරමුණු තීරණය කිරීම,  විමර්ශනය,  නිරීක්ෂණය, අර්ථකතනය හා  නිගමනවලට එලඹීමට හැකියාව හිමිවේ. ඉගෙනුම අවසානයේදී  සිදුකෙරෙන අගයීම හා තක්සේරුකරණය විධිමත්ව හා අවිධිමත්ව සිදුකිරීම විශේෂත්වයකි. ‘‘ ගුරුවරයාගේ උපදෙස් අනුව ශිෂ්‍ය ඉගෙනුම අඛණ්ඩව මැන බලීමට හැකිවන පරිදි කණ්ඩායම් ව්‍යාපෘති , Portfolio , පන්ති කාමර සහභාගිවන, ආදර්ශන හා මතකය මැනීම ආදිය ක‍්‍රියාත්මක වෙනවා.


ශිෂ්‍ය ඉගෙනුම සාර්ථක කරගැනීමේ මුලධර්මයන් හා ක‍්‍රමශිල්පයන් ලෙස‘‘ඉගෙන්වීමේ ක‍්‍රම’’   (Teaching Methods)   හදුන්වා දිය හැකියි. මෙම ක‍්‍රමවේදයන් බොහෝදුරට ශිෂ්‍යයන්ගේ ස්වභාවය (Nature of the learner), විෂයේ ස්වභාවය (Nature of the subject)  සහ ශිෂ්‍යයා ඉගෙනගන්නා ආකාරය (How students learn) අනුව තීරණය වේ.


මෙහිදී ප‍්‍රථමයෙන් ශිෂ්‍යයා ඉගෙන ගන්නා ආකාරය පිළිබඳ අවබෝධ ගුරවරයාට වැදගත්වේ. එහිදී ‘‘ඉගෙනුම’’ (Learning) ශිෂ්‍යයා තුල සිදුවන ආකාරය පිළිබඳ මනෝවිද්‍යාත්මකව ගුරුවරයා තුල අවබෝධය වර්ධනය වී තිබීමද ඉතා වැදගත්ය.


ඉගෙනුම (Learning) යනු උපතේ සිට මරණය දක්වාම පුද්ගලයා විසින් අත්පත් කරගනු ලබන සමස්ත අත්දැකීම් සම්භාරයයි. මේ අනුව ඉගෙනුම යනු අධ්‍යාපනයට වඩා පුළුල් අර්ථයකි. අධ්‍යාපනය ද ඉගෙනුමේම කොටසක් පමණි. ඉගැන්වීම (Teaching) යනු පාසල් ක‍්‍රමය තුළ සංවිධානාත්මක වශයෙන් ගුරුවරුන් මගින් ඉහත විස්තර කරන ලද අධ්‍යාපනය ශිෂ්‍ය පරපුරට ලබාගැනීමට සැලැස්වීම / ලබාදීම වශයෙන් සැලකිය හැකිය. ඉගැන්වීමේ ක‍්‍රම  (Teaching Methods) යනු ඉහත කී අධ්‍යාපනය ශිෂ්‍යයන්ට ලබාදෙන ක‍්‍රමවේදය හෙවත් පංතිය හෝ සිසුන් සංවිධානය කර ඉදිරිපත් කරන ආකාරය වශයෙන් සැලකේ. 


ඉහත කී අධාපනය, ඉගෙනුම හා ඉගැන්වීම් ක‍්‍රමවේදය යන අවස්ථා තුනම ඒකාබද්ධ වීමෙන් හටගන්නා ගුරු සිසු ක‍්‍රියාකාරීත්වය ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය (Teaching-Learning Process) නම් වේ. ඉගෙනුම් න්‍යාය ප‍්‍රවේශය (Learning Approaches/ Theory)  යනු යම් ඉගෙනුමක් ලබනවිට පුද්ගලයා තුල අතිවන මනෝ-කායික ක‍්‍රියාකාරීත්ව විග‍්‍රහ කරන විද්‍යාත්මක හා න්‍යායාත්මක පදනමයි. නැතහොත් පුද්ගලයා තුළ ඉගෙනුම සිදුව ආකාරය පිළිබඳ මානසික චර්යාව හැදෑරීමයි.


ඉගෙනීම යනු පුද්ලගයා තුල ඇතිවිය හැකි චර්යාත්මක වෙනසක් බව කලක සිටම මනෝ විද්‍යා ක්ෂේත‍්‍රයේ ප‍්‍රචලිත වූ මතයකි. එය කවර ආකාරයේ චර්යාවක් ද යන්න පහත ආකාරයට දැක්විය හැකිය. එනම් නව චර්යාවක්, චර්යා පරිවර්තනයක්, චර්යා ආරෝපනයක්, චර්යා ප‍්‍රතිසංස්කරණයක් හෝ චර්යා නිරුන්දනයක් විය හැකිය. එහෙත් චර්යාවේ ඇතිවන තාවකාලික වෙනසක් හෝ කෙටිකාලීන වෙනසක ඉගෙනුමක් ලෙස අර්ථ දැක්විය නොහැක. මේ අනුව සෑම චර්යාමය වෙනසක්ම ‘‘ ඉගෙනුම ’’ යැයි කිව නොහැක. ‘‘ ඉගෙනුම යනු සාපේක්ෂ වශයෙන් කල්පවත්නා චර්යාමය වෙනසක්’’ බව මනෝ විද්‍යාඥයින්ගේ මතයක් වී තිබේ.


බාහිර ලෝකයෙන් ලැබෙන උත්තේජක හෙවත් ප‍්‍රබෝධක නිසා ශරීරය ඇතුලතින් සිදුවන ප‍්‍රතිචාර හේතුකොටගෙන ඉගෙනම සිදුවෙයි. එයට සෘජුවම මොලයේ ෙසෙල හා ස්නායු පද්ධතිය බලපාන හෙයින් ඉගෙනුම  වනාහි ස්නායු හා ෙසෙලමය ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස අර්ථකථනය කෙරේ. පුද්ගලයා යම් ඉගෙනුමක් ලබන විට ස්නායු ෙසෙලයන්හි වෙනස්වීම් (Spatio-temporal)  හේතුකොටගෙන ෙසෙල රටා නිර්මාණය වීමත්, එම රටා ආශ‍්‍රිතව වෙනත් ඉගෙනීම් සිදුවනවිට එම ෙසෙල රටා නවීකරණය වීමෙන් ද ඉගෙනුම සිදුවන බව පැවසේ. මේ අනුව ඉගෙනුම සිදුවන අවස්ථාවලදී ස්නායුමය ක‍්‍රියාකාරකම්වල රසායනික වෙනස්්කම් සිදුවන බවද පිළිගැනේ. 


ළදරුවිය හා පෙර ළමාවියේ ඉගෙනුම පිළිබඳ දක්නට ඇති අඩු වේගය සඳහා හේතුවන්නේ එකල ස්නායු පද්ධති ක‍්‍රියාකාරීත්වයේ ඌන වර්ධනය බව මනෝ විද්‍යාඥයින්ගේ මතයයි. එහෙත් පසු ළමාවිය පසුකර නව යොවුන් විය දෙසට පරිවර්තය වීමේදී ස්නායු පද්ධති ක‍්‍රියාකාරීත්වයේ සීඝ‍්‍රවීමත් සමග ඉගෙනුම් අවස්ථා වඩාත් කාර්යක්ෂම වන බව පැවසේ. එසේම මේ වනවිට ඉගෙනුම වැඩි වේගයකින් හා ඵලදායීත්වයෙන් යුතුව පවත්වාගෙන යාමට බලපානු ලබන අනෙක් කරුණ නම්,  ඉගෙනුමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඒ වනවිටත් ගොඩනැගී ඇති ෙසෙල රටා මෝස්තර හා සම්බන්ධ කර ගැනීමේන් ඒ මත වඩා කාර්යක්ෂම ඉගෙනුමක් ඇතිකරගත හැකි බවයි.


එම ස්නායු ෙසෙල රටාවලට ගැලපෙන හා ඒවාට බද්ධවන ආකාරයෙන් ඉගැන්වීම් ක‍්‍රියාකාරකම් සංවිධානය කිරීම මෑතකාලීනව ඉගැන්වීම් කරන ගුරවරුන්ගෙන් අපේක්ෂා කෙරේ. එහිදී ශ‍්‍රවය දෘශ්‍ය ආධාරක භාවිතයෙන් කරනු ලබන ඉගෙනුම දේශන ස්වරූපයෙන් ලබන ඉගෙනුමට වඩා අතිශයින් වැදගත් වේ. එහිදී ශ‍්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ක‍්‍රම ශිල්ප භාවිතයෙන් සංවේදීය ඉන්ද්‍රියන්ගේ ක‍්‍රියාකාරීත්වය අධික වීමෙන් මධ්‍ය ස්නායු පද්ධතිය හා ඒකාබද්ධ වී ස්නායු ෙසෙල රටා ගොඩනැංවීම පහසු කරවයි.


මොළයේ ස්නායු පද්ධතිය හා ෙසෙල ඒකාබද්ධ වීමෙන් නව ෙසෙල රටා පද්ධති ගොඩනැගීමේ ක‍්‍රියාකාරීත්වය ‘‘ඉගෙනුමට’’ තුඩු දෙන ආසන්නතම අභ්‍යන්තර ක‍්‍රියාකාරීත්වය වේ. එම ක‍්‍රියාකාරීත්වයෙන් සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකය වන්නේ මොලයට ලැබෙන පණිවිඩය හෙවත් සංඥා ප‍්‍රමාණයයි. මොළයට සංඥා ලැබෙන මාර්ග තුනකි.

I පංචඉන්ද්‍රිය මගින් බාහිර පරිසරයෙන් ලැබෙන සංඥා

II ස්නායු ෙසෙලයන්හි ව්‍යුහාත්මක හා ක‍්‍රියාකාරී ස්වභාවය

III පුද්ගල අධිෂ්ඨානය (Will)  හිත (Mind) ආදී මනසේ උත්පාදනය වන භෞතික ක‍්‍රියාකාරීත්වයේ බලපෑම.


මේ සාධක සියල්ල මගින් ඉගෙනුමට අවශ්‍යවන මොළය වර්ධනය සඳහා ආධාර සැපයීම ලෙස සැලකිය හැක. ඉගෙනුම නිරන්තරයෙන් සාධනය හා බැඳී පවතී.  සාධනය සිදුවන්ගේ චර්යාවන් හා බැඳී පවතී. එසේම සාධන මට්ටම් සකස්වීම කෙරෙහි පුහුණුව, ශික්ෂනය, සිසුවාගේ නිරීක්ෂණය ඉතා වැදගත් වේ. 


වැඩි කාලයක්  දරුවා ගතකරන නිවස, ම`ග තොට, පාසල, ඇසුරු කරන පුද්ගලයෝ, සමාජ කණ්ඩායම්, ඇස ගැටෙන, අත්විදින තත්ත්වයන් යනාදිය මත අධ්‍යාපනය සිදුවන බැවින් පරිසරය සමග අධ්‍යාපනයේ මනා සබැඳියාවත් පවතී. පොතපත කියවීමෙන්, සිරිත් විරිත්, කෑමබීම සමාජ අගයන්, අත්දැකීම් ආදියෙන් විවිධ පරිසර තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එසේම ඉගෙනුම තුළ ඇති පෙළඹීම මත අධ්‍යාපනික සාධන මට්ටම් එකිනෙකට වෙනස් ලෙස තීරණය වේ.


ඉගෙනීම නිසා පුද්ගල චර්යාවේ වෙනස්කම් හටගන්නේ නම් ඒවා ඉගෙනීමේ ප‍්‍රතිඵල හෙවත් ඉගෙනුම් ඵළ (Learning Outcomes) වශයෙන් සැලකිය හැකිය. මේ අනුව පුද්ගල පරිනතිය හේතුකොට ගෙන ඇතිවන චර්යාමය වෙනස්කම් ඉගෙනුම්ඵල නොවිය යුතුය. පරිණතිය මෙන්ම වයස්ගත වීමත් සමග පුද්ගල ශාරීරික වර්ධනයේ ප‍්‍රතිඵල වශයෙන්ද චර්යාමය වෙනස්කම් පහල විය හැකිය. 


මේ අනුව ඒවා  ඉගෙනුම් ඵල නොවිය යුතුය. ඉගෙනුම්ඵල ශරීර වර්ධනය හා පරිණතියෙන් වෙන්කර  ගැනීමේ නිර්ණායකයක් ලෙස ඉගෙනුම පරිසරය, අත්දැකීම් හා අභ්‍යාසකරනය මත සිදුවන බව පෙන්වා දිය හැකිය. එසේම ශාරීරික හා පරිණත වෙනස්කම් සෘජුවම නිරීක්ෂණය කළ හැකිය. එහෙත් ඉගෙනුම්ඵල බැලූ බැල්මට සෘජුව නිරීක්ෂණ කළ නොහැක. ඉගෙනුම් ඵල නිරීක්ෂණය කළ හැක්කේ පුද්ගලයා යම් යම් චර්යාවල නියැලීම, ප‍්‍රකාශනය හෝ ප‍්‍රදර්ශනය කරනු ලබන හෝ නිරීක්ෂණය කිරීමේ වක‍්‍ර ආකාරයෙනි.


ඉගෙනීම මගින් ලබන ‘‘ඉගෙනුම් ඵල’’ හෙවත් ස්ථිරවූ චර්යාමය වෙනස්කම් පුද්ගලයා සිය ශරීර ක‍්‍රියාකාරීත්වය තුල තැන්පත් කරගන්නා ආකාරය බ්ලූම් (B.S.Bloom) සිය ‘‘ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය ය.’’ මගින් හෙලිදරව් කර ඇත. ඒ අනුව පුද්ගලයා ‘‘ඉගෙනීම’’ මගින් ‘‘ඉගෙනීම් ඵල’’ ශරීරයේ ක්ෂේත‍්‍ර තුනක් ඔස්සේ තැන්පත් කරගනී.

(1) ප‍්‍රජානන ක්ෂේත‍්‍රය Cognitive domain    (ඥානය, බුද්ධිය, දැනුම)

(2) ආවේදන ක්ෂේත‍්‍රය                Effective domain              (හාදගත හැ`ගීම්, ආකල්ප)

(3) මනෝචාලක ක්ෂේත‍්‍රය         Psycho-Motor domain     (මනස  ශරීර ක‍්‍රියාකාරකම් කුසලතා)


දැනුම, කුසලතා, ආකල්ප යන්න මනෝවිද්‍යාඥයෝ  Head, Heart, Hand ලෙස හදුන්වයි.          පුද්ගල පෞරුෂය සමතුලිත වන්නේ "3H" සම්පූර්ණ වුවහෝත පමණි – ‘‘ඉගෙනුම’’ පුද්ගල පෞරුෂයට සෘජු ලෙස බලපෑම් කරයි.


ඉගෙනුමට බලපාන සාධක

(1) ආරය

(2) පරිසරය

(3) බුද්ධිය

(4) මොළය

(5) මධ්‍ය ස්නායු පද්ධතිය

(6) පංචේන්ද්‍රිය ක‍්‍රියාකාරීත්වය

(7) සංවේදන හා සංකල්පනය

(8) අවධානය හා සංකල්ප සාධනය

(9) සංජානනය

(10) ස්මෘතිය (Memory)

(11) මේරීම (Maturity)

(12) පෙළඹවීම (Motivation)


ශිෂ්‍යයාගේ ස්වභාවය


පෞරුෂ වශයෙන් වෙසන්වන ශිෂ්‍යයන්ට විවිධ විභව්‍යතා ඇත. විවිධ රුචිකම් හා අපේක්ෂණ ඇති මොවුන් කාර්යන්හි නියුක්ත වන්නේ වෙනස් ආකාරයෙන්, ශිෂ්‍ය විභව්‍යතා සඳහා ආරයෙහි බලපෑමක් ඇත. වයසින් වැඩෙත්ම සිදුවන කායික හා බුද්ධිමය වර්ධනයද පරිසරයෙන් ලැබෙන අත්දැකීම් ද නිසා මොවුන් ක‍්‍රමයෙන් පරිණත බවට පත්වේ. ආරමය ලක්ෂණද අත්දැකීම් ද නිසා වෙනස් ගතිලක්ෂණ සහිත දරුවන් හදුනාගැනීම එතරම් පහසුකාර්යක්ද නොවේ. පරම්පරාව අනුව දරුවන්ට දායාද වූ ආරමය හැකියා තිබේ. පම්පරාවේ පැවතුන කායික හා මානසික ලක්ෂණ හා හැකියා යම් ප‍්‍රමාණයකට උරුම කරගෙන උපදින දරුවෝ සිටී. එමෙන්ම දෙමාපියන්ගේ සෞඛ්‍ය  තත්ත්වය සිරිත් විරිත් දරුවාගේ ගතිගුණ සඳහා සෘජු බලපෑමක් සිදුකරන අතර මවගේ පෝෂණය , කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය, ගර්භනී සමයේ සාර්ථකත්වය ද දරුවාට බලබෑම් කරයි.


බුද්ධිමය විවිධත්වය


හොවාර්ඞ් ගාඞ්නර් පෙන්වා දෙන ආකාරයට මිනිසුන්ගේ බුද්ධිය බහු විධ බවත් එහි නිපුණතා ක්ෂේත‍්‍ර 8ක් ඇති බවත් පෙන්වා දී ඇත. ලෝකයේ පවතින විවිධ වූ ක්ෂේත‍්‍ර ආශ‍්‍රිත අධ්‍යනය සඳහා මොළයේ විවිධ කොටස් ද හැකියාද දායක වේ. එමනිසා විවිධ මිනිසුන් විවිධ ක්ෂේත‍්‍ර සඳහා දක්ෂතා දක්වයි. එය හඳුනාගෙන භාවිතය හා අභ්‍යාසය මගින් ඔවුන්ගේ සැ`ගවුනු කුසලතා වර්ධනය කළ යුතුවේ.


වයස අනුව බුද්ධිමය හැකියා ආශ‍්‍රිත විවිධත්වය


ඔබ මනෝ විද්‍යාව හදාරණ විට පුළුල් ලෙස අධ්‍යයනය කල හැක.


පවුල් පරිසරය අනුව ශිෂ්‍ය විවිධත්වය


ශිෂ්‍යයා තම පවුල් පරිසරය, පවුලේ ආර්ථික , සමාජ, සංස්කෘතික සාධක අනුව ඔහුගේ පෞරුෂය ද, අත්දැකීම් ද පැතුම් වලද හැකියාද විවිධ වේ. දෙමාපිය පැවැත්මෙන් හා උත්සාහයෙන් ලැබෙන අනුබලය දරුවාගේ පෞරුෂය තීරණය කෙරෙන සාධකයක් වේ.  දරුවෙකුගේ නිවස ආශ‍්‍රිත සංස්කෘතික පරිසරය දෙමාපිය හා පවුලේ අනෙක් අයගේ ආර්ථික, අධ්‍යාපනික සමාජ තත්ත්ව අනුවද ඔවුන්ගේ පැවැත්ම අනුවද වෙනස් වේ. පවුලේ අය කරන රැුකියා, යන එන තැන්, රුචි අරුචි දේ , ආශ‍්‍රය කරන අයගේ තරාතිරම වැනි දේ අනුව, ඔහුට අඩු හෝ වැඩි අත්දැකීම් ලැබේ. න්‍යෂ්ටික පවුලක දරුවෙකුගේ අත්දැකීම් , විස්කෘත පවුලක දරුවකුට වඩා දුර්වල වීමට ඉඩ තිබේ. දරුවාගේ භාෂාමය හැකියා පවුල අනුව ප‍්‍රබල ලෙස වෙනස් වේ. නිවසේ සිටින හා යන එන අයගේ සිරිත් විරිත් කතා බහ කෙරෙන දේ කියවන පොත පත නරඹන රූපවාහිනී වැඩසටහන ශිෂ්‍යයාගේ චරිතයට බලපානු ඇත. දෙමාපියන් විසින් යෙදවන කාර්ය ඔහුගෙ පෞරුෂයට බලපානු ඇත.


නිවස අවට පරිසරය අනුව ශිෂ්‍ය විවිධත්වය


දරුවකුගේ නිවස අවට පරිසරයද භූගෝලීයව හෝ දේශගුණිකව ඇති වෙනස්කම් පවා ප‍්‍රභල සාධක වේ. මුහුදුබඩ පරිසරයක වැඩෙන දරුවකු හා කදුකර පරිසරයක දරුවකු ලබන අත්දැකීම් වෙනස් වේ. ජීවත්වන පරිසරයේ පවතින සමාජය ද, ශිෂ්‍ය වෙනස්කම්වලට දායකවේ. බෞද්ධ පරිසරයක වෙසෙන දරුවෙක් වෙනත් ආගමික සිරිත් විරිත් පිළිබඳ අඩු අත්දැකීම් සහිත අයෙක් වෙයි. දුරාචාර ගහන ප‍්‍රදේශයක ජීවත්වෙන දරුවෙකු කලහකාරී විය හැක. මේ අනුව නිවාස පරිසරයේ පවතින දේශගුණික , භූගෝලීය, සංස්කෘතික හා දේශපාලනික සාධක ද ශිෂ්‍යයාට බලපෑම් කරයි. මෙම බලපෑම ඔහු පරිසරයට විවෘත වන ප‍්‍රමාණය අනුව  තීරණය වේ.


පුමිතිරි බව අනුව ශිෂ්‍ය විවිධත්වය


පුමිතිරි බව අනුව ශිෂ්‍ය අත්දැකීම් වෙනස් වේ. පිරිමි ප‍්‍රතිරූපය හා ගැහැණු ප‍්‍රති රූපය පිළිබඳ අප දරන ආකල්පමය වෙනස නිසා පවුලක ගැහැනු දරුවකුට ලැබෙන අත්දැකීම් හා පිරිමි දරුවකු ලබන අත්දැකීම් වෙනස් වේ. අප රටේ සංස්කෘතිය අනුව සමහර විට පිරිමි දරුවන් ලෙසම ගැහැණු දරුවෝ සමාන ඉදිරිපත් විමේ ස්වභාවයක් පෙන්නුම් නොකරති. ඔවුහු ලැජ්ජාශීලී විය හැකිය. පන්ති කාමරයේදී සිසුනට අත්දැකීම් ලබාදෙන ගුරුවරයා මේ වෙනස්කම් තේරුම් ගෙන අවශ්‍යතා අනුව ප‍්‍රමුඛතා සලසා ඉගැන්වීම කළයුතුවේ.


අත්දැකීම් අනුව ශිෂ්‍ය විවිධත්වය


ළමයා සිටින පරිසරය අනුව ද ළමයා උගත්දේ ආශ‍්‍රිතව ලද අත්දැකීම් අනුව, ඔහු සිටින මට්ටම වෙනස්වේ. ජෙරාම් එස් බෲනර් (Bruner, 1977) කෙනෙකුගේ සංවර්ධන අවධි හදුන්වා දෙනු ලබන්නේ ඔහු ලබා ඇති අත්දැකීම්වල මට්ටම අනුව මිස වයස අනුව නොවේ.

බෘනර්ට් අනුව එම අත්දකීම් වර්ග තුන,

x ක‍්‍රියාකාරී අත්දැකීම්

x ප‍්‍රතිචාර අත්දැකීම්

x සංකේතාත්මක අත්දැකීම්.

කෙනෙකුට යමක් අවබෝධ කරගැනීමට නම් ප‍්‍රථමයෙන් එය දැකිය යුතුයි. නැතිනම් සජීවී අත්දැකීම් ලැබිය යුතුයි. එලෙස ලබන අත්දැකීම්  "ක‍්‍රියාකාරී අත්දැකීම්" වේ. මෙම අත්දැකීම්, ජීවතය පුරාම පවතින ප‍්‍රබල අත්දැකීම් වන නිසා ඉගෙනුමට ඉතා වැදගත්කමක් ඇති කරයි.

ප්‍රමාණවත් ලෙස ක‍්‍රියාකාරී අත්දැකීම් ලබාදීමට නොහැකි අවස්ථාවලදී රූප, චිත‍්‍ර හෝ පෝස්ටර් භාවිතා කිරීමෙන් එම සජීවී අත්දැකීම් පිළිබඳ චිත්ත රූප මවා ගැනීමට අවස්ථාව උදාවේ. මෙම අත්දැකීම් ප‍්‍රතිමාරූපී අත්දැකීම් ලෙස හැඳින්වේ.

යම් දෙයක් පිළිබඳව වාචික හො ලිඛිත වචන වලින් කෙරෙන විස්තර ශ‍්‍රවණය හෝ දර්ශනය වීමෙන් ලබන අත්දැකීම් සංකේතාත්මක අත්දැකීම් ලෙස හැදින්වේ.


ඉගෙනීමේ ක‍්‍රම අනුව ශිෂ්‍ය විවිධත්වය


ශිෂ්‍යයින් පරිනතියෙන්, බුද්ධියෙන්ද පෙර අත්දැකීම් වලින් රුචි අරුචිකම්වලින්ද හැකියාවලින්ද වෙනස් නිසා ඉගෙනීමක ඒකාකාරීත්වයක් අපේක්ෂා කළ හැකි නොවේ. ඔවුහු මතක තබා ගැනීමට පවා විවිධ ක‍්‍රම උපයෝගී කර ගනී. ඉගෙනීමේදී ශිෂ්‍යයෝ තමාට ආවේනික වූ ඉගෙනුම් ක‍්‍රම අනුගමනය කරයි. තම අත්දැකීම් ද, දන්නා දේද රුචිකම් ද බුද්ධිමය විෂමකම්ද අනුව ශිෂ්‍යයින්ගේ චිත්ත ක‍්‍රම ඔවුනටම ආවේනිකව සකස්වී ඇත.


අනාගතය අනුව ශිෂ්‍ය විවිධත්වය


පාසලේ ඉගෙන ගන්නා ශිෂ්‍යයො ආනාගතයේදී  විවිධ අංශ වෙත යොමුවේ. වෛද්‍ය , ඉංජිනේරු, වැනි විද්‍යා අංශ, භාෂා ශාස්ත‍්‍ර වැනි මානව හෝ සමාජ විද්‍යා අංශ, කාර්මික අංශ, වානිජ්‍ය අංශ, ලලිත කලා අංශ හෝ කුමන ක‍්‍රමයකින් විශේඥතාවයකට එළඹෙන පිරිස් මෙහි පළමු කණ්ඩායම වේ.

ගුරුවරුන්, හෙදියන්, තාක්ෂණික අංශයේ රැකියා නියුක්තිකයින් වැනි පිරිස් මධ්‍යම මට්ටමට අයත්වේ. බහුතරය පොදු මට්ටමට අයත්වේ. පාසල් අධ්‍යාපනයෙන් ඇදහැලෙන ශිෂ්‍යයෝද පසු කාලීනව වෙනත් ජීවන මාර්ග සකසා ගනී. ඔවන්ද මෙම පොදු මට්ටම නියෝජනය කරයි.

අධ්‍යාපනය මානව අයිතියකි. මේ අනුව පාසලේ උගන්වන ගුරුවරාට දක්ෂ හො පසුබට සිසුන් අත්හැරිය නොහැක.


විෂය හා එහි ස්වභාවය


ඉගැන්වීමේදී අත්‍යාවශ්‍යයෙන්ම තමා උගන්වන විෂය යනු කුමක්දැයි ගැඹුරින් වටහා ගත යුතුවන අතර ඊට විෂය පිළිබඳව පවතින සාමාන්‍ය වැටහීම ප‍්‍රමාණවත් නැත. එය පිළිබඳව ආර්ථකථන දැනගැනීම අවශ්‍යය. විවිධ පුද්ලගයන් එක් එක් විෂය සඳහා ඉදිරිපත් කර ඇති අර්ථකථන විමසා බැලීම විෂය ස්වභාවය වටහා ගැනීමට මෙන්ම විෂයෙහි ඓතිහාසික වර්ධනය විමසා බැලීමටද උපකාරී වේ.  ඕනෑම විෂයක් එහි විෂය අන්තර්ගතය අනුව වෙනස්වන නිසා විෂය අන්තර්ගතය අවබෝධ කරගැනීම වැදගත් වේ. 


විෂයක සමුච්චික වූ පොදු දැනුම් සම්භාරයක් පවතී. සමහර විෂයකදී මෙය ස්ථිර වන නමුත් කාලය අනුව වෙනස් නොවේ. (ආගම) සමහර විෂයන් හි දැනුම අංශ අධික විය හැකිය. (ඉතිහාසය) විද්‍යා, තාක්ෂණය වැනි විෂයන්හි දැනුම යාවත්කාලීන වන අතර, යාවත්කාලීන දැනුම ලබාගන්නා ක‍්‍රමවේදයක්ද ඇත. එය විෂයේ ක‍්‍රියාවලිය ලෙස හැඳින් වේ. විද්‍යාව තාක්ෂණය යන විෂයවලදී මෙම ක‍්‍රියාවලිය ඉගැන්වීම ඉතා වැදගත් වේ. චිත‍්‍ර, නැටුම් හා සංගීතය යන විෂයන් නිර්මාණය සඳහා ශිල්පීය දක්ෂතා මෙන්ම පරිකල්පන ශක්තිය අත්‍යාවශ්‍ය වේ. එම අංග විශයේ ක‍්‍රියාවලියට අයත්වේ.


විෂයක අධ්‍යාපනික වටිනාකම


අධ්‍යාපනික වටිනාකම යනු විෂය මගින් ඇති කළ හැකි යහපත් බලපෑමයි. පුද්ගලයකු මෙන්ම සමාජයද යහපත් කල හැකි, ජාතික ඵලදායීතාවට දායක වන වෙනස් කම් කරවීමට, විෂය සතු හැකියාව විවිධ වේ. පුද්ගලයකු ශික්ෂණය කිරීමේ හැකියාව විවිධ විෂයන්ට විවිධාකාරයෙන් ඇත. මේ නිසා විෂයක් ශික්ෂණයක් ලෙසද හැඳින්වේ.


පුද්ගලයකුගේ ආත්ම සංවර්ධනයට ද අධ්‍යාත්ම සංවර්ධනයටද දායක වන්නේ විෂය අධ්‍යාපනයයි. යහපත් අධ්‍යාපන ක‍්‍රියාවලියක් මගින් ශිල්ප ශාස්ත‍්‍රය, විනය, ශික්ෂනය හා යහපත් භාෂාවක් ද ලැබේ. මෙම සියල්ල ලබාගත හැකිවන්නේ යහපත් ලෙස විෂය ඉගැන්වීමෙනි.


මා විසින් දීර්ඝ ලෙස විස්තර කළේ ඉගෙනුම් ක‍්‍රමශිල්ප සදහා බලපාන සාධක පිළිබඳවයි. ඉගෙනුම් ක‍්‍රමවිද්‍යාව යන්න වටහා ගැනීමෙන් පසු ඉගෙනුම් ක‍්‍රම ශිල්ප යන්න වටහා ගැනීම සඳහායි මේ දීර්ඝ විස්තර ලීවේ. පන්ති කාමර ඉගැන්වීමේදී අපට විවිධ ක‍්‍රම ශිල්ප භාවිතා කරමින් තමයි ඉගැන්විමේ කාර්යෙහි නිරතවීමට සිදුවන්නේ. පහත දැක්වෙන්නේ අප විසින් භාවිතා කරන ක‍්‍රම ශිල්පයන් ලැයිස්තුවක්.


ඉගැන්වීමේ ක‍්‍රම

1. දේශන ක‍්‍රමය 8. සමරුපන ක‍්‍රමය

2. ප‍්‍රශ්ණකරනය 9. ක්ෂුද්‍ර ඉගැන්වීම

3. සාකච්ඡුා ක‍්‍රමය 10. නාට්‍යානුසාර ඉගැන්වීම

4. කණ්ඩායම් ඉගෙනුම 11. පැවරුම් ක‍්‍රම

5. ප‍්‍රදර්ශන ක‍්‍රම 12. ව්‍යපෘති ක‍්‍රම

6. ආදර්ශන ක‍්‍රම 13. ගැටළු විසදීමේ ක‍්‍රමය

7. පියවර ක‍්‍රම 14. ආනාවරන ක‍්‍රමය.


ඊළගට මම ඔබට විස්තර කරන්න සූදානම් වන්නේ ඉගැන්වීමේ ක‍්‍රම ශිල්ප / උපාය මාර්ග පිළිබඳවයි. අප යම්කිසි පාඩමක් ඉගැන්වීම සඳහා ඉගැන්වීමේ ක‍්‍රමයක් තෝරාගන්නවා. නමුත් පාඩම ඉගැන්වීමේදී පාඩමේ එක් එක් අදියර සඳහා විවිධ උපායමාර්ග යොදාගැනීමට සිදුවෙනවා . එමනිසා ඉගැන්වීමේ ක‍්‍රමයක් තුල විවිධ ඉගැන්වීමේ ක‍්‍රම ශිල්ප / උපාය මාර්ග තිබිය හැකිබව ඔබ තේරුම් ගත යුතුයි.


උදා ඃ- අපිට හුරුපුරුදු දේශන ක‍්‍රමයනේ. ඔබට වැටහෙනවනේ දේශන ක‍්‍රමයකදී කරන්නේ මොනවද කියලා. දැන් පාඩම ඉගන්වීමේදී පාඩමේ එක් එක් කොටස් ඉගැන්වීමට වෙනස් ක‍්‍රම යොදාගන්න වෙනවා. ඒ කියන්නේ, සමහර පියවරක් ප‍්‍රශ්ණ කරණය මගින් උගන්වන්න වෙනවා. ළමයින්ගෙන් විවිධ ආකාරයට ප‍්‍රශ්ණ ඇසීමෙන්මයි එම කොටස අවබෝධ කරවන්නෙ. සමහර පියවරකදී නිරීක්ෂණය යොදාගන්න වෙනවා සමහර පියවරකදී කතාන්දරයක් කීමෙන් ඉගැන්වීම කරන්න වෙනවා. සමහරවිට භූමිකා රංගනයක් මගින් පාඩමේ සමහර කොටස් කරන්න වෙනවා. මේ ආකරයට පාඩම සංවර්ධනය කිරීම කරන්න සිදුවෙනවා. 


ඉගැන්වීමේ ක‍්‍රම ශිල්ප / උපාය මාර්ග


ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය පහසු කිරීම පිණිස ගුරවරයාට සහාය ලබාගතහැකි උපායපාර්ග ඉගැන්වීමේ ක‍්‍රම ශිල්ප ලෙස හැදින් වේ.


අධ්‍යාපනඥ අගර්වාල් ජී.සී. (1996) සඳහන් කරන පරිදි පාඩම උගන්වන එක් එක් අවස්ථාවේදී ඉගැන්වීම සිදුවන අන්දම හෝ ස්වරූපය මෙම උපාය මාර්ගවලින් නිරූපනය වේ.

උදා. ලෙස : පන්තිකාමරයේ සෑම ශිෂ්‍යයෙකුම ළ`ග ඇති පෙළ පොත දක්ෂ ගුරුවරයෙකුට ඵලදායී ලෙස ඉගැනීමේ ක‍්‍රම ශිල්පයක් ලෙස යොදාගත හැක. කථාන්දර කීම, භූමිකා රංගන, ආදර්ශන (Demonstration), විවාදය, නිරීක්ෂණය, ක්ෂේත‍්‍ර චාරිකා, සාකච්ඡුා, ප‍්‍රදර්ශන ආදී ක‍්‍රම ශිල්ප එදිනදා පන්ති කාමරයේ දී භාවිත කළ හැකිි ක‍්‍රම ශිල්පවලින් කිහිපයක් වේ.

නමුත්, එක් එක් පාඩමෙහි කොටස් ඉගැන්වීම සදහා යෝග්‍යතම ශිල්පීය ක‍්‍රම තෝරා ගැනීමටත්, උචිත අවස්ථාවන්හි යොදාගැනීමටත් ගුරුවරුන් වශයෙන් ඔබ තුළ දැනුවත් බවක් තිබීම අනිවාර්ය වේ. ඔබ විසින් එම කුසලතා වර්ධනය කරගතයුතු වේ.


ඉගැන්වීමේ ක‍්‍රමශිල්ප භාවිතයේ ඇති වැදගත්කම


ජොන්මැන්ඩර් දක්වන ආකාරයට, ඉගැන්වීමේ ක‍්‍රම ශිල්ප භාවිතයෙන් ගුරුවරයාට මෙනම ශිෂය්‍යාටද ප‍්‍රයෝජන රැුසක් අත්පත් කරගත හැකි වේ.

x උගන්වන ලද විෂය කරුණු සිසුන්ට හොදින් අවබෝධ කරගැනීමට හැකිවේ.

ගුරුවරයාට විෂය කරුණු හොඳින් පැහැදිලි කරදීමට හැකිවේ.

x විෂය කරුණු ඉගැන්වීම කාර්යක්ෂම වේ.

නිශ්චිත කාලයකදී වැඩි විෂය කරුණු ප‍්‍රමාණයක් ආවරනය කළ හැකිවේ.

x සිසුන්ගේ උනන්දුව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවන අතර උත්පාදනය කළ හැකිවේ.

වෙනත් ක‍්‍රමවලින් ඉගෙන ගන්නා ලද විෂය කරුණු සමෝධානය කළ හැකිවේ.

x සිසුන්ට කිසියම් අලූත් දෙයක් පිළිබද අත්දැකීම් හා අවබෝධය ලබා ගැනීමේ ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිවේ.


ශිෂ්‍යයා ඉගෙනීම සඳහා යොමු කිරීමටත්, විවිධ ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීම සඳහා අවස්ථා සම්බන්ධයටත්, ඉගෙනීම ප‍්‍රයෝජනවත් කාර්යයක් බවට පත්කිරීමටත් ගුරුවරයාට මෙමගින් හැකිවේ.


මෙහිදී අප උගත් ඉගැන්වීමේ ක‍්‍රම ශිල්ප / උපාය මාර්ග ඇතැම් අවස්ථාවලදී ඉගැන්වීමේ ක‍්‍රම ලෙසද යොදාගත හැකි බව තේරුම්ගන්න. මෙයට හේතුව වන්නේ, ඇතැම් ඉගැන්වීමේ ක‍්‍රම ගුරුවරයාට අවස්ථානෝචිත පාඩම් රසවත් කිරීමට, ඉගැන්වීමේ ක‍්‍රම ශිල්පයක් ලෙසද භාවිත කළ හැකි වීමයි.  එසේම මෙහි විලෝචයද සත්‍ය වේ.


x පෙළපොත ඉගැන්වීමේ ක‍්‍රමශිල්පයක් ලෙස භාවිතකළ හැක. ස්වයං අධ්‍යයනයට ශිෂ්‍යයා යොමුකිරීමේ දී පැවරුම් ක‍්‍රමය යොදා ගත හැක.


x ප‍්‍රාථමික පන්ති කාමරයේදී කථාන්තර කීම ඉගැන්වීමේ ක‍්‍රම ශිල්පයක් ලෙස යොදාගත හැකිය. ශිෂ්‍යයාගේ හදවතට සමීපවීමට, අවධානය ලබා ගැනීමට ඉගෙනීම රසවත් හා ප‍්‍රාණවත් කිරීමට මෙම ක‍්‍රමය ඉතා යෝග්‍ය වේ.


x භූමිකා රංගන මගින් සිසුන්ගේ ආවේදන හා මනෝචාලක ක්ෂේත‍්‍ර මනා ලෙස සංවර්ධනය කළ හැකිවේ.


x ක්ෂේත‍්‍ර චාරිකා (Field Trips) මගින් සිසුන්ට ඵලදායී සෘජු අත්දැකීම් ඉහල මට්ටමින් ලබා දිය හැක.


x ප‍්‍රශ්ණකරනය ඉතා හොඳ ඉගැන්වීමේ ක‍්‍රමයකි. සිසුන්ගේ පෙර දැනුම පරීක්ෂා කිරීමට, රුචිකත්වය හා කුතුහලය උත්තේජනය කිරීම , පාඩම පුනරීක්ෂණයට ප‍්‍රශ්ණකරනය ඉගැන්වීමේ ක‍්‍රම ශිල්පයක් ලෙස යොදාගත හැකිය.


x නිරීක්ෂණයද ක්ෂේක‍්‍ර චාරිකාවකදී ඉතාම වැදගත් ඉගැන්වීමේ ක‍්‍රමශ්ල්පයක් ලෙස භාවිත කල හැකිය.


ඉගැන්වීමේ ක‍්‍රම ශිල්ප / උපාය මර්ග

1. පෙළ පෙත

2. කථාන්තර කීම (Story telling)

3. භූමිකා රංගනය (Role play)

4. ආදර්ශනය

5. හේතු දැක්වීම.

6. නිරීක්ෂනය

7. ක්ෂේත‍්‍ර චාරිකා

8. ප‍්‍රදර්ශනය

9. සාකච්ඡකරණය

10. ප‍්‍රශ්නකරනය

11. සමාකරනය


Comments